Monday, October 15, 2018

ආස නැද්ද තෙමෙන්න

ආස නැද්ද තෙමෙන්න මං මගෙන්ම ඇහුව. කවුරුත් මගෙන් එහෙම දෙයක් අහල තිබ්බෙ නෑ.

මගෙන් අහල තිබ්බෙ බෝඩිම් හොයන්නයි. කළුවරේ පස්සෙන් එන කොල්ලො හිංද තනියට එන්න පුළුවන්ද කියලයි. පිටරට කැම්පස් වල පිලිගැනීම කොහොමද කියලයි. බැංකුවෙන් ණයක් ගන්නෙ කොහොමද කියලයි වගේ දේවල් විතරයි.

මං ආසයි තෙමෙන්න මං මටම කියාගත්ත.

මට මතක ඇති කාලෙක ආසාවෙන් තෙමුණෙ මට අවුරුදු දොළහක දහතුනක කාලෙ අත්තම්මලාගේ මැණික්හින්නෙ ගෙදර මහ වැස්ස දවසක. දැං අත්තම්මා නැතිවෙලත් අවුරුද්දක්. අන්තිමට ඉස්පිරිතාලෙට ගෙනියන්න ආපු වාහනේට උස්සල දැම්මෙ මමයි මාමයි. ඉතිං ඔය අවුරුදු විසිගාණකට පස්සෙවත් මං ආසාවෙන් තෙමිල තිබ්බෙ නෑ.

ඇයි කවුරුවත් මගෙන් අහල තිබ්බෙ නැත්තෙ තෙමෙන්න ආසයිද කියල.

ඒක මං දන්නෙ නෑ. දැනගන්න එක දුකක් වෙන බව හොඳින්ම දන්න නිසා මං ඒ ගැන කාගෙන්වත්ම අහල නෑ. ඒ තුන්දෙනාගෙන් එක්කෙනෙක් වත් මට කියන්න හරි එහෙම අහන්න හරි වදවුණෙත් නෑ.

මට තිබ්බෙ තනියෙන්ම තෙමෙන්න කවුරුවත් අහනකල් ඉන්නෙ නැතුව.

මට එහෙම කරගන්න බැරිවුණා. ඉතිං මං නොතෙමී ඉන්නව කාලාන්තරයක ඉඳල. ආසාව නැතිකමට නෙමෙයි. කවුරුහරි ආසයිද කියල අහනකල් බලාගෙන හිටපු අහිංසක කමට. දැන් මං තෙමුණත් තෙමෙන්නෙ හොඳහැටි විතක ගිලිල. එතකොට කොහෙද පොදක් ඇඟේ දැවටෙද්දි දැනෙන කිතිය, නේද.

Wednesday, August 15, 2018

ආදර අරක්කු

කාලයත් එක්ක ජීවිතේ වටිනාකම් වෙනස් වෙනව. ඒකට කියන්නෙ පරිණත වීම වෙන්න ඇති. දැනට අවුරුදු දහයකට පහලොවකට කලින් සංවේදී වෙච්චි දේවලට නෙමෙයි අපි අද වෙද්දි සංවේදි වෙන්නෙ.

උදාහරණයක් හැටියට ඒ දවස්වල බොන්නෙ පොරවෙන්න. එහෙම නෙමේ වෙන එවුනුත් ඇති හැබැයි මං සම්බන්ධයෙන් නම් ඒ කතාව ඇත්ත. මං බොන්න පටන් ගනිද්දි මං කිසිම දෙයක් සම්බන්ධයෙන් පොරක් නෙමෙයි. ලංකාවේ ප්‍රධාන ඉස්කෝලෙකට ගිය ඒකෙ සාමාන්‍ය ජීවිතයක් ගෙවපු පොඩි කොල්ලෙක්. ඉස්කෝලෙන් පස්සෙ ඒ කාලෙ හැටියට යම් තරමකට හොඳ රස්සාවකට ගිය කොල්ලෙක්.  අනිත් උදාහරණෙ තමයි 'ආදරය කිරිල්ල'. ඉස්සර ආදරය කරද්දි නැවත ආදරයක් ලැබෙන්නෙ නැතුවම ඒක පාර්ශවිකව අවුරුදු ගාණක් උනත් එකදිගට ආදරය කරන්න පුළුවන්. ඒක නිරපරාද මහන්සියක් කාලය අපතේ හැරීමක් කියල හිතෙන්නෙ නෑ. කොටින්ම ආදරයට ලක්වෙන්න වෙන මනුස්සයට ඒක මොනතරම් වදයක් වෙලා ඇතිද කියලවත් හිතෙන්නෙ නෑ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රොමාන්තිකයි. බලු බල්ලෙක් ඒක ගණන් ගත්තෙ නැති වුණාට.

කාලයක් යද්දි බොන එකට අළුත් මානයන් එකතුවෙනව. අපි සහෘදයො හොයන්න පටන්ගන්නව. සමාන දේශපාලන, ආර්ථික, සමාජයීය අදහස් ඒ වගේම කලාව සාහිත්‍යය පිළිබඳ සමාන රුචිකත්වයන් තියෙන මිනිස්සුත් එක්ක එකතුවෙන්න පටන් ගන්නව. ඒ ඔස්සේ ව්‍යාපාරික, අධ්‍යාපනික, සමාජයීය සම්බන්ධකම් ගොඩනැගෙනව අපි අපේම කවයන් හදාගන්නව. ඕක නොබොන මිනිස්සුත් කරනව, නමුත් බොන එවුන් අතර තියෙන සම්බන්ධතා වඩා හෘදයාංගම විදිහට මට දැනෙනව. ඒ මං බොන එකෙක් හිංද වෙන්න ඇති.

ඔය වගේම ආදරය කිරිල්ලත් ක්‍රමිකව විකාශනය වෙනව. මුල් කාලෙදි අපිට ඇතිවෙච්චි හැඟීම් නෙමෙයි පසුකාලීනව ඇතිවෙන්නෙ. ඒවා ටික ටික සංකීර්ණ වෙනව. ආදරය හෝ අන්තර්පුද්ගල සම්බන්ධතා සමාජ් ආර්ථික ධූරාවලීන් කෙරෙහි බලපාන්නෙ කොහොමද. අනාගත සාර්ථකත්වයට ඒව කොයි ආකාරයෙන් බලපායිද. සමාජයේ තමා බලාපොරොත්තුවෙන යම් ස්ථානගතවීමකට තමන්ගේ සහකරු හෝ සහකාරිය කොයිතරම් සහයෝගයක් වේවිද වගේ කාරණා ගැන අපි හුඟදෙනෙක් අනිච්ඡානුග හෝ ගණනය කිරීම් කරනව. මේක ප්‍රාථමික ලිංගික ආකර්ෂණයට වඩා බොහොම සංකීර්ණ ක්‍රියාවලියක්. අවශ්‍යතා සංකීර්ණ වෙන්න වෙන්න ගණනය කිරීමුත් සංකීර්ණ වෙනව.

මං දැන් moderate drinker කෙනෙක් වෙලා අවුරුදු පහළොවකට කිට්ටුයි. ආදරය කරන්න පටන් අරං අවුරුදු දහ අටකට කිට්ටුයි. බීමෙනුයි ආදරයෙනුයි දෙකෙන්ම මං සෑහෙන දේවල් ඉගෙනගෙන තියෙනව. ඉගෙනගනිමින් ඉන්නව. පිත වමනය කරනකල් බීල තියෙනව, විෂාදයට එනකල් ආදරය කරල තියෙනව. ඔය දෙකම නවත්තන්න ඕනෙ දේවල්, සමාජ සම්මතයන්ට පටහැනියි වගේ දේවල් මං නම් කිසිසේත්ම අදාල කරගන්නෙ නෑ. මට ජීවිතය විඳින්න නම් අරක්කු වීදුරුවක් ස්මාට් කෙල්ලෙක් ඉන්නම ඕනෙ. ඔය දෙකම කවදාවත් මට එකට ලැබිලා නෑ. නමුත් වෙන් වෙන් වශයෙන් වුණත් ඒ ලැබුණු අත්දැකීම් කාව්‍යාත්මකයි.  

මං නම් හිතාගෙන ඉන්නෙ ඉන්න ටික කාලේ හොඳට විඳලා විඳවන්නෙ නැතුව මැරිල යන්න. ඒක කරන්න නම් මට ටිකක් බොන්න වෙනව, ගොඩක් ආදරය කරන්න වෙනව. ඔය දෙක හිතේ හැටියට කරල මැරෙන එක දුක නෑ. කොහොමත් මැරෙනවනෙ.

Image Copyrights: http://www.mysticquote.com/drinking-alcohol-quotes-slogans-sayings/

Sunday, July 29, 2018

මගේ ආදරයේ අවධි

බ්ලොග් එකට දාන්න තරම් දෙයක් ලිව්වෙ නෑ අවුරුදු දෙකහමාරකින් විතර. ඒත් මං ළඟදි දැනගත්තා ඒක කියවපු අයත් ඉන්නව කියල. මං ගැන හොයන්න ඕනෙ වෙනකෙනෙක් ඒකත් කියවනව කියල. ඉතිං බ්ලොග් එක කියන්නෙ මාව මැනගන්න පුළුවන් දර්ශකයක් කියල කවුරුහරි කෙනෙක් හිතනවනම් ඒක හරි, මං ෆේස්බුක් එකේ බීල ෆන් එකට දාන පෝස්ට් වගේ ඒව බ්ලොග් එකේ දාන්නෙ නෑ. මොකද බ්ලොග් එකේ කොටන්න ටිකක් වෙලා යනව. ඒක හිංද මේක කරන්නෙ සිරා මූඩ් පිට විතරයි.

මේක තමයි සංක්ෂිප්තය. 

මුලින්ම කෙල්ලෙක්ගෙන් ඇහැව්වේ 2000 දි. එතකොට වයස පහළවකුත් මාස ගාණක්. සුනිල් සර්ගෙ විද්‍යාව පන්තියේ හිටපු ලස්සනම කෙල්ලගෙන් ඇහැව්වෙ. කෙල්ලට හිනත් ගියා මගේ හිතේ.ජනකයයි පැතුමයි බෙල්ලෙන් අල්ලල කෙල්ල ඉස්සරහට තල්ලු නොකරන්න ඒකත් නෑ. ඊට පස්සෙ කැමැත්තෙන් හිටියේ යාළුවෙක්ගෙ ඥාති සහෝදරියෙකුට එයත් අදටත් මම දැකල තියෙන ලස්සනම කෙල්ලන්ගෙන් කෙනෙක්. මං අහන්න කලින් යාළුවම ඒක අහල තිබ්බ. කෙල්ල කැමති වෙලා නෑ. ඔය 2001 වගේ වෙන්න ඇති.  ඒ කාලෙ ට්‍රයි කලේ ලස්සනට, ඒකෙත් හොඳම එකට. හරි ගියේ නෑ.

ඊට පස්සෙ මතක ඇති විදිහට ආපහු කෙල්ලෙක්ට බැහැල ට්‍රයි කලේ 2006 දි. එයාට නම් එයා බඳිනකල්ම ට්‍රයි කලා. එයා බැන්දෙ 2016 දි වගේ මතක. ඔය අතරතුරේදි 2009 - 2010 වගේ කාලෙදි මට කෙල්ලෙක් සෙට්වෙලා හිටියා මාස කිහිපයක් වගේ කාලෙකට. එයා දැනගෙන හිටිය මම අරයට තමයි ආදරේ කියල ඒත් එයා මාත් එක්ක ටික කාලයක් හිටිය. එයා නිතරම කියපු දෙයක් තමයි ඔයා මාව හැමවෙලාවෙම අරයත් එක්ක සසඳනව කියන එක. එයා අදටත් ඒක කියනව. ඔය අවදියේදි ට්‍රයි කලේ බුද්ධිමත්කමට උගත්කමට. ඔය කියපු දෙන්නම උගත් බුද්ධිමත් දෙන්නෙක්.

ඊට පස්සෙ ආදරය කලේ 2014 දි විතර අවුරුදු දහයක් බාල පොඩි කෙල්ලෙකුට එයා හෙන පොශ්, කතාව ඉංග්‍රීසියෙන් විතරයි. අපි දෙන්නගෙ සම්බන්ධෙ කෙටි කාලයක් ඇතුලත ලොකු දුරක් ගියා. ඒක එයා නවත්තපුවහම මට පිස්සු හැදෙන ලෙවල් එකටම ආවා.ගොඩ එන්න අවුරුදු ගාණක් ගියා. එතනදි මං කැමතිවෙන්න ඇත්තෙ ආටෝපෙටයි එයාගේ අති ධාවනකාරී ගතියටයි වෙන්න ඇති. එතකොට මට වයස තිහක්, එයාට විස්සයි.

ඒක නතරවෙලා මාස හයකින් විතර මට යෝජනාවක් ආවා. ගෑණු ළමය ආණ්ඩුවේ ඉහළම නිළධාරියෙක්ගෙ දුවක්. එයාටම කාර් එකක් තිබුණ. ළමයගෙ කැතකුත් තිබුනෙ නෑ. හැබැයි එයා රස්සාවක් කලේ නෑ. ඕකට ගෙදරිනුත් ඕකේ වෙලා මඟුලට දින දාගන්න තියෙද්දි අපේ ගෙදරින් අකමැති වුණා එයාට රස්සාවක් නෑයි කියල. මං එයාට කැමති වෙන්න ඇත්තෙ පවුල් පසුබිමට සල්ලිවලට වෙන්න ඇති. ඒත් ඔය වෙද්දි මටත් බඳිනවද නැද්ද කියන දෙගිඩියාවත් ලාවට වගේ තිබ්බ, ඇත්ත කියන්න එපැයි.

ඔය කියන දෙගිඩියාව මට අදත් තියෙනව. ඒක මට විතරක් තියෙන අවුලක්ද නැත්තම් හැමෝටම වගේ දැනෙන පොදු දෙයක්ද කියන්න මම දන්නෙ නෑ.    

ගිය අවුරුද්දෙ බුකියෙ තද පොරක් එක්ක මාසයක් දෙකක් වගේ කාලයක් යාළුවෙලා හිටිය. එයයි මායි සෙක්ෂුවලි කම්පැටිබල් වෙන එකක් නෑයි කියල මට හිතිච්චි හින්ද ඒකත් අතෑරල දැම්ම. එයා සැහෙන්න කියවන කෙනෙක්. හොඳ දැනුමක් අධ්‍යාපනයක් තිබුණු කෙනෙක්. කැමැත්ත තිබුණෙ ඒකට. නමුත් අර ප්‍රශ්නෙ උද්ගතවෙයි කියල මට හිතිච්ච හින්ද තමයි ඒක නතර වුණේ.

ඊට පස්සෙ මේ අවුරුද්දෙ ට්‍රයි කලා දෙන්නෙක්ට. එක්කෙනෙක් මගේ හොඳ යාළුවෙක්. විවෘත අදහස් තියෙන කෙල්ලෙක්. ඉතින් මට එයා ගැන කැමැත්තක් තිබ්බා. එයාගෙත් ලොකු අකමැත්තක් තිබ්බයි කියල මං හිතන්නෙ නෑ. නමුත් මං ඉක්මනටම වගේ රටෙන් යන හිංදයි එයාගෙ පවුලෙ එකම ළමය එයා හිංදයි ඒගොල්ලොන්ගෙ ගෙදරින් වැඩේට අකමැති වුණා. ඒක තෙරුම් ගන්න පුළුවන් ලොකු අවුලක් නෑ. එයත් එක්ක මට ඕනෙම වගේ දෙයක් කතාකරන්න පුළුවන්කම තිබ්බා. මං ආස කලේ ඒකට.

අනිත් එක්කෙනා මං වැඩ කරන ආයතනයෙම මගේ ශ්‍රේණියෙම කෙල්ලෙක්. එයා සෑහෙන අඩු වයසකින් උසස්වීම් ලබපු දක්ෂ ළමයෙක්. එයා ගැන සෑහෙන වර්ණනාවක් ලැබුණා මං මාර විදිහට ගරුකරන මනුස්සයෙක්ගෙන්. මං හිතන්නෙ මට හිත ගියේ එයාගෙ දක්ෂකමට වෙන්න ඕනෙ. අපි දෙන්නගෙ හඳහන් ගැලපෙන්නෑ කියල එයාලගෙ ගෙදරින් කියල තිබ්බ.  

ඔය විදිහට බැලුවහම මගේ "ආදරය" කියන එක විවිධ අවධි ඔස්සේ අවුරුදු විස්සකට ආසන්න කාලයක් තිස්සේ දිගින් දිගටම පරිණාමය වෙලා තියෙනව. එක එක කාලෙට තිබිල තියෙන්නෙ එක එක අවශ්‍යතා. හැබැයි එව්ව ඔක්කොම ආත්මාර්ථකාමීයි. ආදරය කියන්නෙ පරාර්ථකාමී දෙයක් නෙමෙයි. එතනදි තමන්ගෙ අවශ්‍යතාවය මොකද්ද කියන එක තමයි මූලික තීරක බලවේගය වෙන්නෙ. අපි හැදිල තියෙන්නෙ වර්ගයා බෝ කරන්න. වර්ගයා වඩා හොඳ විදිහට බෝ කරන්න. ඒකයි අපේ තෝරාගැනීම් කාලයත් එක්ක වෙනස් වෙන්නෙ. 

හැබැයි ඔය ජීව රසායනික ක්‍රියාවලිය මොකක් වුණත් ආදරය කියන්නෙ හරිම සුන්දර අත්දැකීමක්. විරහව කියන්නේ ආදරණීයම අත්දැකීමක්. මනුස්සයෙක් වුණහම ඒ දේවල් විඳින්න පුළුවන් නම් හොඳයි. කේක් හැදෙන්නෙ මෙහෙමයි කියල දැනගෙන හිටියයි කියල ඒකෙන් කද්දි රස දැනෙන එක වෙනස් වෙන්නෙ නෑ.  මාත් ආදරය කරන එක නතර කරන්න බලාපොරොත්තුවක් නෑ. මැරෙනකල් ආදරය කරනව. ප්‍රති ආදරයක් ලැබුණත් එකයි නැතත් එකයි. ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.  

Monday, February 22, 2016

Thirst



That,
Emptiness
Surreptitious worthlessness
The feeling of loneliness
Abrupt swings from happiness

Stems,
 From the days of the unreplied
“Good morning, Sweetness”

It’s,
A longing for unthinkable
A desire for unattainable

More accurately,
A thirst for a dose of hemlock

Saturday, July 25, 2015

තනිවට ලියමි

දා ගතිමි
ලියන තොප්පිය...
ඇගේ ප්‍රොෆයිලය
බැලූ ආවේශයෙන්..
මාරාවේශයෙන් නොව
තැලුණු හිතට නැගුණු ආවේගයෙන්..

නැවත ඇරියෙමි
වසා ඇති බඳුන
තිත්ත වූ මුත් මිහිරි වන මතකය විඳගන්න... 
පැටලුනෙමි
කුහක සුළිසුලඟක
අතැර ගිය ඈ විඳිනු දැක ජීවිතය...

තොල ගාමි
ඇබ්බැහියෙන්
සත්‍යය පිරවූ කොහොඹ රස මධු බඳුන...
පසක් කළෙමි
නැවතත්
අස්පෘෂ්‍ය වූ ශුන්‍යයකට
අගයක් ආදේශකළ නොහැකි වග..

එනමුඳු සොඳුර
යළි යළි වෙළෙමි
ඔබේ සුවඳ සුසුමක.. අකීකරු කෙහෙරැල්ලක මතකයේ
ඇසිපිය හෙලන ක්ෂණයකින්
ඔබ කියැවූ පිටුව....
මට
වෙළුම් ගණනක් ගලන මහා කාව්‍යයක් බැවින්...



Saturday, May 23, 2015

සමනලුන්ට ආසයි නම් දලඹුවන්ට ආදරය කරන්න

මෙය දැක්කේ අහම්ඹෙන් මෙනි. ඉතින් ප්‍රස්තූතයම උපුටා ගැනීමකි. නමුත් ලිවීමට යමක් මේ පේලි තුල ඇතැයි මට සිතුණි. ඉතින් මම මටම ආදේශ කරගනිමි.

මට දැන් දැන් සමනලුන් පේන්නේ අඩුවෙනි. ඇත්තටම සමනලුන්ගේ අඩුවීමක්ද නැතිනම් මගේ පෙනීමේ අඩුවක්ද එහෙමත් නැතිනම් සමනලුන් මට පේන්නට එන්නේ නැතිවීමක්ද යන්න මම හරියට නොදනිමි. සමහරවිට කාලය එළඹ ඇති නිසා වියයුතුය.

දළඹුවා ආදරය කිරීමට අමාරු සතෙකි. ලස්සනේ අඩුවක් නිසා පමණක් නොවේ. බූව ගෑවුණාම ගෑවුණු ගැවුණු තැන් කසන නිසාය. දළඹුවන් නිසා කස කසා සිටි අතීතයන් අපි කාට කාටත් අඩුවැඩි වශයෙන් ඇතත් අපි සමනලුන්ට මාර විදිහට ආසා නිසා දළඹුවන්ටම ආදරය කරමු. එක දළඹුවාටද එක් එක් දළඹුවන්ටද යන්න විෂයානුබද්ධ කාරණාවකි. මා එක දළඹුවෙක්ට ආදරය කරද්දී ඔබ දළඹුවන් කීපදෙනෙකුට ආදරය කරනු විය හැකිය.  ඒ අප දෙදෙනාගේ  එකිනෙකට වෙනස්වූ කැමැත්තය.

අපි දළඹුවන්ට ආදරය කිරීම නිසා සමනලයා අපිට ආදරය කරතැයි සිතීම රුපියල් සියයක් වියදම් කර රුපියල් දාහක ලාබයක් ලැබීමට බලාපොරොත්තු වීමක් යැයි මට සිතේ.  දළඹුවාට ආදරය කල යුත්තේ දළඹුවාට කැමති නිසා මිස උගෙන් පසුව බිහිවෙන සමනලයාව මතු දිනෙක හිමිකරගැනීමේ බලපොරොත්තුවෙන් නොවේ.

කොහොමත් දළඹුවන් පරෙස්සම් කරගත යුතුය, එය වගකීමකි. උන් දිනෙක සමනල්ලු වී ලෝකය වර්ණවත් කරනු ඇත. ඉනික්බිති නේක වර්ණ මල් කරා ඇදෙනු ඇත. විටෙක මලෙකින් මලකට පියා සලනු ඇත. උන්ගේ කැමත්තය. ඒ ලෝකයේ ඔබත් මමත් සිටියිද යන්න වෙනම කාරණාවකි. ඇත්තටම එය මෙතනට අදාලත් නැත.

ඉතින්, දළඹුවන්ට ආදරය කරන්න සමනලයන්ට වගේම. මතක තියා ගන්න සමනල්ලු ඉන්නේ නෑ, යනවා. දළඹුවෝ සමනල්ලු වෙනවට වඩා ඉක්මනට.

Saturday, January 10, 2015

මටත් කීමට ඇත්තේ ඔච්චරය.

චන්දේ ඉවරය. මහින්ද මහත්තයා පරාදය. මම එතුමාට චන්දය නොදුන්නත් එතුමා අරලියගහ මැදුරෙන් පිටවී යනවිට මටත් දුකක් දැනුණි.  ඒ පරාජයේ දුකින් තැවෙමින් සිටි පාක්ෂිකයන්ට කෝචොක් කිරීමට නොගොස් උන්ගේ පිටටත් තට්ටුවක් දැමීමට උත්සාහ කළෙමි. උන් ඉන්නේ දුකින් නිසාය. උනුත් අපේම යාළුවන් නිසාය. දුක යනු ඌටත් මටත් පොදු හැඟීමක් වන නිසාය.නැතුව මහින්ද ඉන්න තිබුණා යැයි කියා නොවේ. මහින්ද යායුතුව තිබුණි. මිනිස්සු චන්දේ දැම්මේ ඒකටය.


නමුත් දැන් දැන් තත්වේ භයානක වෙමින් පවතී. චන්දේ දුන් අනෙක් ජාතීන්ව පට්ට ගසති. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල හිදිමින් තමන්ගේ චන්ද අයිතිය පාවිච්චි කිරීමට අනෙකුත් ජාතීන්ට නොහැකි නම් රටකට ප්‍රජාතන්ත්‍රවාදය කුමකටද ? අපි මේ තරම් ගෝත්‍රවාදී විය යුතුද ? සිංහල චන්ද බෙදී යෑම හා අනෙකුත් ජාතීනගේ චන්ද බෙදී නො‍යෑම පසුපස තිබෙන්නේ එකිනෙකට පරස්පර හේතු වීමට පුලුවන. මම එය බැහැර නොකරමි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය යනු එයම නොවේද ?

මහින්ද පැරදුන එක ගැන දුක් වෙන මගෙ යාළුවන් ගැනත් මට දුකය. මහින්දට චන්දේ නොදීම නිසා ජාතිවාදී කුණුකතා අහගන්නා අනෙකුත් ජාතීන් වල මගේ යාළුවන් ගැනත් මට දුකය. ඒ මම උඹලා දෙගොල්ලන්ටම එක වගේ ආදරේ නිසාය.

ඒනිසා එක්ව ගමනක් යෑමට ස්වර්ණමය යැයි මට හැඟෙන අවස්තාවක් උදාවී තිබියදී බොරු ගොන් පාට් දැමීමට ගොස් රටට ආපහු කෙළවා ගැනීමට උත්සාහ කිරීම අතිශයින්ම වේදනාකාරීය.

මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් පද රචනය කරන ලද ගුණදාස කපුගේ සංගීත වේදියාණන් විසින් සංගීතවත් කරන ලද නන්දා මාලිනිය ගයන ගීයක් අවස්ථාතෝචිත යැයි හැඟන බැවින් මෙහි දක්වමි.

බමුණා වුණත් දුදනෙකු නම් බිම හොවනූ...
සැ‍ඬොලා වුණත් සුදනෙකු නම් පු‍ටුව දෙනූ...
හෙළයා වුණත් ජඩයෙකු නම් පහර දෙනූ...
දෙමළා වුණත් විරුවෙකු නම් ගරු කරනූ...

බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳපුදනූ...
දෑ ගොත් කුළ නොදු‍ටු උන් බණ පිළිපදිනූ...
වැදි බණ මැදින් මුණි බණ ‍තෝරා අසනූ...
වැදි බණ දෙසන සඟ ගණ වුව පි‍ටුදකිනූ...

සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනූ...
පාවා දෙන එවුන් මූණට කෙළ ගසනූ...
කසයෙන් තලා හිස පළඳා ක‍ටු ඔ‍ටුනූ...
ජනයා අබිමුවේ උන් නිරුවත් කරනූ...

රජෙකුගෙ වුවත් වරදට කෑ මොර ගසනූ...
මොරදෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනූ...
නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනූ...
වරදට කිපෙනු සටනට වැද ජය ලබනූ...

https://www.youtube.com/watch?v=fUEWsFYrCbs